ඉපලෝගම පොලිස් වසමේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථයක් හා පාපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මහඉලුප්පල්ලම, කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු පුෂ්පික කසුන්ත සමරතුංග නම් සිසුවෙකි.
උපකාරක පන්තියක් සඳහා ගොස් ඊයේ (16) සවස 5ට පමණ නිවසට පාපැදියෙන් පැමිණෙමින් තිබිය දී සිසුවා මෙම අනතුරට මුහුණ පා තිබේ.
අනතුර සිදුවු ස්ථානයේ සිට සිසුවාගේ නිවසට ඇත්තේ මීටර 500ක වැනි දුරක් බව අප වාර්තාකරු පැවසීය.
සිසුවා ගමන් ගත් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථය, සිසුවාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අසල තිබූ දුරකථන කණුවක ද ගැටී නතර වී තිබේ.
අනතුරින් පාපැදියට මෙන්ම මෝටර් රථයට ද දැඩි හානි සිදුව ඇත.
රෝහල වෙත ඇතුළත් කරන විටත් සිසුවා ජීවිතක්ෂයට පත්ව සිට ඇති අතර, අද (17) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.
මෝටර් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
ඉපලෝගම පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසුවේ, මෝටර් රථ රියදුරුගේ තත්ත්වය බරපතළ නොවන බවත් අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිටියාදැයි පරීක්ෂා කිරීමට මේ වන විට රුධිර සාම්පල ලබාගත් බවය.
අනතුර සිදුවන අයුරු ඇසින් දුටු පුද්ගලයෙක් පැවසුවේ, අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කරගත නොහැකිව සිසුවාගේ ගැටුණු බවය.
අනතුරින් මියගිය සිසුවාගේ පියා මෙලෙස අදහස් දැක්විය.
“පුතා 3ට පන්තියට ගියා, පන්ති ඉවර වෙන්නේ සවස 5ට. මමත් ඒ වෙලාවේ වැඩ ඇරිලා එන ගමන් හිටියේ. පන්තිය පහු වෙලා මීටර 200ක් විතර දුරින් මම දැක්කා පුතා එනවා. මගේ පොඩි පුතත් මගේ බයික් ඒකේ හිටියා. මම පොඩි පුතාට කිව්වා අයියාට හූ කියලා බායි කියන්න කියලා. අපි පුතාව පහු කරගෙන ගෙදර ගියා. මම පුතා පහු කරලා මීටර 100ක් විතර ගිය හම තමයි ඔය අනතුර වෙලා තියෙන්නේ. ගෙදර ගිය ගමන් පුතාව හැප්පිලා කිව්වා.මම රෝහලට ඇවිත් බලද්දී පුතා නැති වෙලා කියලා කිව්වා. පුතා දවල්ට පා පැදියෙන් තමයි පන්ති යන්නේ. රෑට වගේ නම් මම ගෙදර එක්කන් යනවා.මගේ පුතා ඉගෙන ගන්න දක්ෂ දරුවෙක්. ශිෂ්‍යත්වයත් සමත් වුණා ඉහළින්. කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වසරේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙන ගන්නේ.පන්ති නායකයත් මගේ පුතා. මම කියන්නේ මේකට සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලා. මම කියන්නේ නෑ කාගෙවත් ගෙවල් ගිනි තියන්න, ගහන්න බනින්න, කියන්නේ නෑ. හැබැයි මේ සමස්ථ සමාජයේම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ වගේ සිද්ධි වුණාම හැම තාත්තාම කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…