ශ්‍රී ලංකා

ජාත්‍යන්තර කාන්තා දිනයට ජනපති සුභ පතයි!

ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයකි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුමයි.

1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” ඉල්ලා වැඩවැරූ දිනය වන මාර්තු 08 දිනය, පසුකාලීනව ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත් විය. පසුගිය කාලය පුරා අප රටෙහිද කාන්තා දින සැමරුම් පවත්වමින් බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟුවද වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහපොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවීය.

ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩනැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත්ය. ඒ මහා කාර්යයට රජයක් ලෙස අපගේ කෘතගුණ පෙරළා පිරිනමන අතරම, ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර අප තැබූ බවද සිහිපත් කරමි. දශක ගණනාවක් පුරා සාකච්ඡාවට පමණක් බඳුන් වූ කාන්තාවගේ දේශපාලන නියෝජනය, සහභාගිත්වය සහ භූමිකාව ඉහළ නංවමින් පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් විසි දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත්වීම මෙරට දේශපාලනයේ හැරවුමක් බව අවිවාදිතය.

එසේම, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය උදෙසා සමාජ සාධාරණත්වය ඉටුකරමින් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වූ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියට මෙරට ජනගහනයෙන් 51.7%ක් වන කාන්තාවන් සක්‍රීයව හා ඵලදායීව සහභාගි කර ගැනීමේ සැලසුම් අපි ක්‍රියාවට නංවා ඇත්තෙමු.

සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කරමින් නිවස, ප්‍රවාහනය, ප්‍රජාව, වැඩබිම, දේශපාලනය ආදී සෑම ස්ථානයකම කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට, වෙනස්කර සැලකීමට එරෙහිව කටයුතු කරමින් කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අපි රජයක් ලෙස ප්‍රමුඛත්වය දී ඇත්තෙමු.

ඒ අනුව “සියලු කාන්තාවන් හා ගැහැනු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම යන තේමාව යටතේ “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්” මැයෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව මෙහි ලා සිහිපත් කළ යුතුය.

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරමින්, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මාර්තු 08 වන දින

Sasindu Sahan Tharaka

Recent Posts

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අරුණ ජයසේකරගෙන් බලපෑම් එල්ල කළ හැකි බවට කතෝලික සභාවෙන් විවේචනයක්!

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…

2 days ago

මිනිස්සුන්ගෙ හොඳ සහ නරක පැත්ත ගැන ලාල්ගෙන් ප්‍රකාශයක්!

මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…

2 days ago

නව අගවිනිසුරුවරයාගෙන් රටටම පණිවිඩයක්!

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ…

2 days ago

නුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් වැව් ඉවුරෙන් හමුවෙයි!

මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ…

2 days ago

කොස්ගොඩ වෙඩි තැබීමේ සිද්ධිය : වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සොයාගනියි!

කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි…

2 days ago

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමකට පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්!

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර…

2 days ago