එළවළු මිල අහස උසට !

1.7k Views
2 Min Read

එළවළු මිල ඉහළ ගොස් ඇත්තේ අතරමැදියන් විසින් කෘතිමව සිදුකරන ලද මිල ඉහළ දැමීම් හේතුවෙන් බවට තොරතුරු වාර්තා වනවා.

මධ්‍යම කඳුකරයට පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග උඩරට සහ පහතරට එළවළු තොග සහ සිල්ලර මිල යළි ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් එළවළුවල සිල්ලර මිල ගණන් පිළිබඳව නාරාහේන්පිට, තඹුත්තේගම, දඹුල්ල සහ නුවරඑළිය යන ආර්ථික මධ්‍යස්ථාන මිල ගණන් සමඟ සැසඳීමේදී අතරමැදියන් විසින් එළවළු මිල ඉහළ දමන බවටයි අනාවරණ වන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 400 කට අලෙවි වනවිට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 510 කටයි.

එම බෝංචි කිලෝවම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවිවන්නේ රුපියල් 600 කටයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 160 ත් 170 ත් අතර මිලකට අලෙවි වුවත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක මිල රුපියල් 240 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ලීක්ස්, රාබු ඇතුලු අනෙකුත් එළවලු මිල ගණන් ද විවිධ පරාසයන් යටතේ අලෙවි වන බවටයි අප සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වූයේ.

මෙම මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත්තේ අතරමැදි වෙළෙන්දන් විසින් සිදුකරන මිල ඉහළ දැමීම් හමුවේයි.

මේ හේතුවෙන් අපහසුතාවට පත්වන්නේ පාරිභෝගික ජනතාවයි.

මේ සම්බන්ධයෙන් අප පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන්ද විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වන බවයි.

එහෙත් අධික මිල කණන් යටතේ ඇතැම් වෙළඳුන් එළවළු අලෙවි කරන බවට තොරතුරු වාර්තාවී ඇති බවත්, සෑම වෙලෙන්දෙකුම එළවළු මිල ප්‍රදර්ශනය කළ යුතු බවත් පාරිභෝගික අධිකාරිය සඳහන් කළා.

Share This Article
Leave a comment