කොටුව හෝටල්වලින් කෑම කන්නේ පරිස්සමින් !

586 Views
2 Min Read

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් මාවතේ ඉතා අපිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන ගිය හෝටල් 05 ක් අද(19) දින සිට වසා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කළාය.
ඕල්කට් මාවතේ පිහිටි මෙම හෝටල් කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් 17 සහ 18 දිනවල දැඩි පරීක්ෂාවට ලක් කරන ලදුව ඉතා අපිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන යන ආකාරය නිරීක්ෂණය කර තිබිණි.

ඊයේ (18) මෙම හෝටල් 05ට විරුද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නඩු පවරන ලැබීය .

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මීට පෙර මෙම හෝටල් දැඩි පරීක්ෂාවට ලක් කර අපිරිසිදු ලෙස පැවති හෝටල් පිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් හෝටල් කරුවන් වෙත ලබා දී තිබුණ බවත්, එම උපදෙස් නොසලකා හරිමින් ඉතා අපිරිසිදු තත්ත්වයෙන් දිගටම එම හෝටල් පවත්වාගෙන යමින් සිටි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. .

වසා දැමූ හෝටල් 05 ලබන මස 16 වන දිනට පෙර ඉතා පිරිසිදු තත්ත්වයෙන් සකසා අඩුපාඩු සම්පූර්ණ කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් අධිකරණයට වාර්තා කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය හෝටල් හිමිකරුවන් හට නියෝග කරනු ලැබීය

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණිගේ උපදෙස් පරිදි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශ්‍රී ප්‍රතාපන් සහ දිසා අංක 02 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පැතුම් කොඩිකාරගේ මෙහෙයවීමෙන් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ .ඒ .අබයරත්න , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන සිමාෆ්, වැලිකල, ඉන්දික , දිල්ශාන් යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ

Share This Article
Leave a comment