කළුතරට ගංවතුර අවදානමක් !

718 Views
1 Min Read

ඉදිරි පැය 24 ක කාලය තුළ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව අද පෙරවරු 11.00 ට නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම සහ තවමත් වර්ෂාව ලැබෙමින් පැවතීම ඊට හේතුව බවයි.

මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව එම නිවේදනයේ සඳහන්. මෙම තත්ත්වය සම්න්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස, එම මාර්ග හරහා රිය ධාවනය කරන රියදුරන්ගෙන් සහ අවට ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ අතර, පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වයත් සමග මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික් 04 ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත්, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Share This Article
Leave a comment