ගංවතුරෙන්වන බලපෑම අවම කිරීමට කැබිනට් පත්‍රිකාවක්

417 Views
2 Min Read

මෙම වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම අවම කර ඒ සඳහා තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්ම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කොළඹ නාගරික කලාපය තුළ මෙන්ම කොළඹින් පිටත ප්‍රදේශවල ගංවතුර ගැලීම අවම කිරීමේ ව්‍යාපෘතිද ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් හඳුනාගෙන ඇති බවද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්වේ.

ඒ අනුව මෙම වසරේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2,100 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ. මෙම ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම මුළු ප්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 20ට වැඩි ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1991ක මුදලක් වෙන්කර ඇති අතර රුපියල් මිලියන 20ට අඩු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 109.00ක මුදලක් වෙන්කර ඇත.

කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොලොන්නාව හා ඒ ආශ්‍රිත ප්‍රදේශ නිරන්තරයෙන්ම ජලයෙන් යටවීම සිදුවේ.මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි පීඩාවට පත්වේ.

ගංවතුර අවම කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය සංවර්ධ අංගයකි. පසුගිය දශකවල මෙම ප්‍රදේශ ප්‍රමාණවත් නොවන හා නුසුදුසු ජලාපවහන පද්ධති හේතුවෙන් නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට ලක්විය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදවාගෙන කොලොන්නාව වැසි ජල අපවහනය හා අවට පරිසරය වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි.

Share This Article
Leave a comment