ප්‍රංශයේ මොකද මේ වෙන්නේ? (VIDEO)

362 Views
2 Min Read

ප්‍රංශයේ විරෝධතා තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පොලිස් නිලධාරියකු විසින් අවුරුදු 17ක Nahel M නම් නව යොවුන් තරුණයකු වෙඩි තබා ඝාතනය කරනු ලැබීමේ සිදුවීම මුල් කරගනිමින් ප්‍රංශය පුරා ව්‍යාප්ත වන විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට 40,000ක පමණ පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ එම තරුණයාට පොලිස් නිලධාරියකු විසින් වෙඩි තබනු ලැබූ බවත්, එම වෙඩි පහරින් ඔහුගේ හිසට බරපතළ හානි සිදුවී මරණයට පත් වූ බවත් ප්‍රංශ පොලිසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සටහන් කර තිබේ.

මේ සිදුවීමෙන් පසු මුලින්ම පැරිස් නුවර විරෝධතා පැතිරී ගිය අතර, එහිදී පුද්ගලයන් 180 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර තිබේ. විරෝධතාකරුවන්ගේ ප්‍රහාරවලට ලක් වූ පොලිස් නිලධාරින් 170ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

200 කට අධික විරෝධතාකරුවන් පිරිසක් තුවාල ලබා ඇති අතර මෝටර් රථ 40ක් පමණ ගිනි තබා විනාශ කර ඇති බවට වාර්තා පළවෙයි.

වෙඩි පහරින් මිය ගිය තරුණයාගේ මව විසින් සංවිධාන කරනු ලැබූ විරෝධතාව මේ වන විට රට පුරා ව්‍යාප්ත වී ඇත. මේ අතර වුවමනාවෙන්ම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර ඇති අතර, එම ඝාතනය හෙළා දකින බවත් නිවේදනය කර තිබේ.

වෙඩි පහරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඇල්ජීරියානු සම්භවයක් සහිත එම තරුණයා අරාබි ජාතිකයකු වන අතර, වසර 2017 සිට ආරක්ෂක මුරපොළවලදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ බහුතරය කළු ජාතිකයන් හෝ අරාබි ජාතිකයන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ අතර මෙවැනි නොසන්සුන්තාවක් පවතින වාතාවරණයක් තුළ ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකට ගායක එල්ටන් ජෝන්ගේ උත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙන් ජනතාවගේ අප්‍රසාදය පළ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

මියගිය තරුණයාගේ මව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් ද නිකුත් කොට තිබෙනවා.

Share This Article
Leave a comment