දිවයිනේ ප්‍රකට කෙටි කෑම අලෙවි ජාලයකට අයත් බෙන්තර අවන්හලේ කෑමවල අමුතු බිත්තර !

595 Views
2 Min Read

දිවයිනේ ප්‍රසිද්ධ කෙටි ආහාර නිශ්පාදන අලෙවි ජාලයකට අයත් බෙන්තර ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් මිළදී ගත් බිත්තර රෝල්ස් එකක තිබූ බිත්තරය ප්ලාස්ටික් හෝ රබර් වලට සමාන අසාමාන්‍ය එකක් බවට පාරිභෝගිකයකු විසින් බෙන්තර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට දුරකථන මගින් කල පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන පුවතක් බෙන්තර සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් වාර්තාවේ.

අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කරන බව සදහන් වේ.

පැමිණිලිකරු තවත් අයෙකු සමග අද පස්වරුවේ බෙන්තර පිහිටි අවන්හලට ගොස් බිත්තර රෝල්ස් එකක්, බනිස් ගෙඩියක්, මාළු චයිනිස් රෝල්ස් එකක්, එළවළු රොටියක්, වතුර බෝතලයක් කොකා කෝලා බීම බෝතලයක් සහ නෙස්කැෆේ එකක් රුපියල් 1230 ක් ගෙවා මිළදී ගෙන ඇති බවත්, බිත්තර රෝල්ස් එකෙහි වටිනාකම රුපියල් 170 ක් බවත් සදහන්වේ.

ඔහුට බිත්තර රෝල්ස් ආහාරයට ගැනීමේ දී ඇතිවූ අපහසුතාවය හේතුවෙන් පරීක්ෂා කිරීමේ දී එය රබර් හෝ ප්ලාස්ටික් එකකට සමාන බව දැන එහි කාර්ය මණ්ඩලය සමග කතිකා කර ඇතත් එකගත්වයට පත්වීමට නොහැකි වී ඇත.

ඒ අනුව අවට මේස නිරීක්ෂණය කිරීමේ දී බිත්තර රෝල්ස් ආහාරයට ගත් අයවලුන් බිත්තර කෑලි ආහාරයට නොගෙන ඉතිරි කර ගොස් යන අයුරු ද පැමිණිලිකරු නිරීක්ෂණය කර තිබෙනවා.

පසුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට දුරකථන මගින් දැනුම් දී ඇති බවත් ඒ වනවිට ඔහු ඇල්පිටි​ය ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක් යෙදී සිටින බැවින් පසුදින පරීක්ෂණ ආරම්භ කරන බවත් දැනුම් දී ඇති බව පැමිණිලිකරු පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ බෙන්තර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා මෙසේ පැවසීය. දුරකථන මගින් පැමිණිල්ලක් ලැබී තිබෙනවා. හෙට පරීක්ෂණ ආරම්භ කරනවා යනුවෙන් පැවසීය.

Share This Article
Leave a comment