Israel-Hamas War – ඊශ්‍රායලය තුළ සිදුවෙමින් ඇත්තේ කුමක් ද?

672 Views
6 Min Read

ඊශ්‍රායලයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට ලොවපුරා අවධානය යොමුව තිබේ.

ඒ, (ඔක් 07) පලස්තීන හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරනු ලැබූ ප්‍රහාරය හේතුවෙනි.

හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය මේවන විට ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

හමාස් සංවිධානයට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර සඳහා සූදානම් වීම වෙනුවෙන් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ට තම නිවෙස්වලින් පලා යන ලෙසට අනතුරු අඟවා තිබේ.

පලස්තීන හමාස් සටන්කාමී සංවිධානයේ තුවක්කුකරුවන් විශාල පිරිසක් අනපේක්ෂිත ප්‍රහාරයකින් පසු ගාසා තීරයෙන් දකුණු ඊශ්‍රායලයට ඇතුළු වීමත් සමඟ තමන් “යුද්ධයකට” එළඹ සිටින බව ඊශ්‍රායලය පවසයි.

සටන්කාමී සාමාජිකයෝ ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර එල්ල කරමින් අද අළුයම් කාලයෙන් පසු ආරක්ෂිත වැට තරණය කළහ.

ඊශ්‍රායල බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 250 දෙනෙකු මියගොස් ඇති අතර 1,100 කට වැඩි පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබති.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානයට “කවදාවත් අත්නොදුටු ප්‍රතිවිපාකයකට” මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

“කළු දිනයක්” ලෙස හැඳින්වූ පලස්තීන සටන්කාමීන්ගේ ප්‍රහාරයට “බලවත් පළිගැනීමක්” කරන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී තිබේ.

ප්‍රහාරක ජෙට් යානා ගණනාවක් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බවත්, දහස් ගණනක් සෙබළුන් බලමුලු ගන්වා ඇති බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය. පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු බීබීසීයට පවසා ඇත්තේ අද උදෑසන ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 232 දෙනෙකු මියගොස් ඇති බවයි.

අමාත්‍යාංශයට අනුව අවම වශයෙන් පුද්ගලයින් 1,790 දෙනෙකු තුවාල ලබා ඇත. හමාස් විසින් පාලනය කරනු ලබන ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූයේ සෙනසුරාදා, යුදෙව් සබත් දිනය සහ සිම්චැට් ටෝරා උත්සවය පැවැත්වෙන දිනය උදාවීමෙන් පසුවය. ඊශ්‍රායලය පුරා සයිරන් හඬ නාද වෙමින් ඇති අතර, ඊශ්‍රායල් හමුදාව නිවේදනය කළේ “ත්‍රස්තවාදීන්” ඊශ්‍රායල භූමියේ “විවිධ ස්ථාන ගණනාවකට” රිංගා ඇති බවයි.

හමුදාව විසින් දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ගාසා තීරය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථාන අසල සහ නවාතැන් තුළ රැඳී සිටින ලෙස දන්වනු ලැබ තිබේ. අන්තර්ජාලයේ පළ කරන ලද දර්ශනවල පෙනී ගියේ දැඩි ලෙස සන්නද්ධ පලස්තීන සටන්කාමීන් කණ්ඩායමක් කළු පැහැති ඇඳුම් වලින් සැරසී පික්-අප් ට්‍රක් රථයකින් ස්ඩෙරොට් නගරය වටා ගමන් කරන ආකාරයයි.

එක් වීඩියෝවක, එම සටන්කාමීන් ගාසා තීරයේ සිට කිලෝමීටර් 1.6ක් (සැතපුම් 1ක්) දුරින් පිහිටි එම නගරයේ වීදිවල ඊශ්‍රායල හමුදා සමඟ වෙඩි හුවමාරු කරගන්නා බවක් පෙනෙන්නට තිබුණි. ඊශ්‍රායල ජාතිකයන් ගණනාවක් සටන්කාමීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට තහවුරු නොකළ වාර්තා සහ ගාසා තීරයේ පලස්තීනුවන් ඊශ්‍රායල හමුදා වාහන පදවාගෙන යන අයුරු දැක්වෙන දර්ශන ද පලස්තීන මාධ්‍යවල පළ කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට සිදුවූ හානි මෙතෙක් පැහැදිලි නැත. නමුත් ෂාර් හනෙගෙව් ප්‍රාදේශීය සභාව නිවේදනය කළේ එහි නායක ඔෆිර් ලිබ්ස්ටයින් තම ප්‍රජාව ආරක්ෂා කිරීමට යාමේදී සටන්කාමීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය බවයි.

මේ අතර සෙනසුරාදා උදෑසන පුරා රොකට් ප්‍රහාර අඛණ්ඩව එල්ලවූ අතර ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර 2,500 කට වැඩි ප්‍රමාණයක් එල්ල වී ඇති බවයි. ඊශ්‍රායලයේ මැගන් ඩේවිඩ් ඇඩොම් ගිලන්රථ සේවයේ මූලික වාර්තාවක සඳහන් වූයේ පලස්තීන රොකට් ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවයි.

දකුණු දිග නගරයක් වන අෂ්කෙලෝන්හි රෝහලක් අනාවරණය කළේ තුවාල ලැබූවන් 68 දෙනෙකුට ප්‍රතිකාර කරන බවත්, බියර් ෂෙවාහි තවත් රෝහලක් තවත් 80 දෙනෙකුට ප්‍රතිකාර කරන බවත් සඳහන් කළේය.

ඊශ්‍රායලයේ ගැටුම් වලින් ලාංකිකයෙකුට තුවාල

ඊශ්‍රායලයේ හි පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට එක් ශ්‍රී ලාංකිකයෙකු සුළු තුවාල ලබා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ටෙල් අවිව් සහ රමල්ලා හි වෙසෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර විපතට පත් ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම මෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින අතර තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස ද සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද එහි දක්වා තිබේ.

ඇතිවූ ගැටුම් හේතුවෙන් විපතට පත්වුවන්ට සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සිය ශෝකය පළකරන බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින් සංඛ්‍යාව කොපමණද?

මේ වන විට ඊශ්‍රායලයේ ලාංකිකයින් අටදහසක් පමණ ජීවත් වන බවත්, ඉන් බහුතරයක් සාත්තු සේවකයින් ලෙස සේවය කරනු ලබන පුද්ගලයින් බවත් තානාපතිවරයා සඳහන් කළේය. “ලංකාවේ අය අටදහසක් පමණ ඉන්නවා දැනට ඊශ්‍රායලයේ. පසුගිය මාස නවයක කාලය තුළ දී දෙරට අතර ඇතිකර ගත්ත ගිවිසුමක් අනුව ලාංකිකයින් 600ක් පමණ නිල වශයෙන් මේ රටට ඇවිත් තියෙනවා.

මේ අයගෙන් 90%ක් පමණ සේවය කරන්නේ සාත්තු සේවකයින් විදිහට. ඉතුරු අය කෘෂිකර්ම සේවයට ආපු අය. එහෙම ආපු අය නැවත ගිහින් නැහැ. ඒ වගේම සංචාරක වීසා වලින් ඊශ්‍රායලයට ඇවිත් නැවත ගියේ නැති පිරිසක් ඉන්නවා මේ පිරිස අතරේ.

“බහුතරයක් ලංකාවේ අය ජීවත් වෙන්නේ අගනුවර වන ජෙරුසලම, ටෙල් අවීව් සහ හයිෆා කියන නගර ආශ්‍රිතව යි. සාත්තු සේවකයින් විදිහට සේවයට ඇවිත් ඉන්න අය නිවෙස් තුළ ඉඳගෙන සේවය කරන්නේ. හෝටල් වල වැඩකරන කිහිප දෙනෙකු ඉන්නවා.

“ඒ වගේම ලංකාවේ අය ඊශ්‍රායෙල් ජාතිකයින් සමග විවාහ වෙලා ඉන්නවා. ඒ වගේ පවුල් 30-35ක් පමණ තියෙනවා. ඊට අමතරව මේ රටේ බෞද්ධ විහාරයක් තියෙනවා, අපේ ස්වාමින්වහන්සේ නමක් එහි වැඩසිටිනවා,” ඔහු පැවසීය.

Share This Article
Leave a comment