ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා දිවිගමනට සමුදෙයි !

610 Views
1 Min Read

70 දශකයේ යොවුන් සිනමාවේ පුරෝගාමියා, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (25) පස්වරුවේ බටුවත්තේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 89 කි.

1935 වසරේ නොවැම්බර් 10 වැනිදාවක සුගතපාල සෙනරත් යාපා මහතාගේ උපත සිදුවෙන්නේ, අකුරැස්ස මලුදූව එරළුව ගම්මානයේදී ය.

ඔහු සිය සිනමා චාරිකාව ආරම්භ කරන්නේ හන්තානේ කතාව සිනමා පටයෙනි.

මෙරට බිහිවූ කඩවසම්ම රංග පෞරුෂය වූ විජය කුමාරතුංගයන්, හන්තානේ කතාව සිනමා පටය හරහා රිදී තිරයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ ද ඔහුට ය.

ධර්මසේන පතිරාජ, විජය ධර්මශ්‍රී, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර වැනි චරිත, හන්තානේ කතාව හරහා ඔහු ජනගත කළ දැවැන්තයින් වනවා.

ලාංකේය සිනමාලෝලීන් අතර අතිශය ජනප්‍රිය වූ පෙම්බර මධූ සහ ඉන්දුට මල් මිටක්, සුගතපාල සෙනරත් යාපා මහතා හෙළ සිනමාවට දායාද කළ සෙසු සිනමා වත්කම් ය.

ඉතින්, සුගතපාල සෙනරත් යාපා මහතාණෙනි, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයක් තැනීමට දැක්වූ දායකත්වයට, ඔබට මල් මිටක්.

Share This Article
Leave a comment