හොරට වාහන ලියාපදිංචි කළ RMV නිලධාරීන්ට 8කට නොතීසි !

480 Views
2 Min Read

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය නොවූ සුඛෝපභෝගී මෝටර් රථ 400 කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර රජයට රුපියල් කෝටි 500 කට අධික මූල්‍ය පාඩුවක් කරන ලදැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ඇතුළු 8 දෙනකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඊයේ (19 වැනිදා) නොතිසි නිකුත් කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය විසින් මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස නම් කරනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කේ. ඩී. බන්දුල ජයසිංහ, සහකාර කොමසාරිස්වරුන් වන බී. ඩබ්ලිව්. පී. බී. ඊරියගම, ප්‍රියංගනී සිරිමාන්න, පරිගණක වැඩ සටහන් සම්පාදක කේ. කේ. රෝහිත සමරවීර, අධීක්ෂණ නිලධාරී උපුල් ප්‍රියන්ත ද සිල්වා, සංවර්ධන නිලධාරී කේමන්ත මුත්තුංග, ලිපිකරු චන්න රෝහිත, වාහන ගෙන්වීමේ ව්‍යාපාරිකයකු වන කේ. ජී. නලින්ද මහේෂ් කුමාර යන 8 දෙනාට එලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළා.

මෙම මස 29 වැනිදා එම සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය නොවූ සුඛෝපභෝගී මොන්ටෙරෝ ජීප් රථ, ලෑන්ඩ් කෲෂර් වර්ගයේ මෝටර් රථ ඇතුළු මෝටර් රථ 400 කට ආසන්න ප්‍රමාණයක් අතරින් මේ වනවිට රේගුව භාරයට නැවත පත්කර ඇත්තේ මෝටර් රථ 16 ක් පමණක් බව දන්වා සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් දිවයින පුරා තිබෙන අනිකුත් මෝටර් රථ සොයා පුළුල් විමර්ශනයක් පවත්වන බවද දන්වා සිටියා.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය නොවූ වාහන ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමි කරමින් පසුගිය කාලයේ සිදුකරගෙන ගිය අනීතික ක්‍රියාවලිය පිළිබඳව මෙතෙක් සිදුකරන ලද විමර්ශනයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය වී ඇතැයිද අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළේය

Share This Article
Leave a comment