පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

767 Views
4 Min Read
පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ දිනයේ ​දී (නොවැම්බර් 23 වන දා) අනාවරණය කළේය.

මෙම සමාලෝචනය IMF කළමනාකාරිත්වය සහ IMF විධායක මණ්ඩලය විසින් විසින් අනුමත කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් පමණ වන මීළඟ ණය වාරිකය හිමිවනු ඇත.

2023 මාර්තු 20 වැනිදා අනුමත වූ සිව් වසරක මෙම ණය අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන සමස්ත ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3කි.

නව ණය වාරිකය ලැබීමත් සමග ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය වාරිකවල සමස්ථ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 දක්වා ඉහළ යනු ඇත.

කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මේ බව අනාවරණය කළේය.

වැඩසටහනේ අරමුණු සඳහා නව රජයේ කැපවීම, විශ්වසනීයත්වය වර්ධනයකර ඇති අතර ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහතික කරයි.

මේ දක්වා වැඩසටහන යටතේ අත්පත් කරගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට සහ ආර්ථිකය කල් පවත්නා පරිදි යථා තත්ත්වයට පත්වීමක් හා ස්ථාවර මෙන්ම සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධන මාවතක් කරා ගෙනඒම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තිරසාර ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

2024 ජූනි මාසයයන් අවසන් වන කාර්තු හතර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව සාමාන්‍යයක් ලෙස සියයට 4කින් වර්ධනය වී තිබේ.

ඉහළ සංඛ්‍යාත දර්ශක මගින් ආර්ථිකයේ සියලු අංශයන්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි.

බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව මෑතකාලීනව ඇතිකරගත් ප්‍රතිපත්තිමය ගිවිසුම ශ්‍රී ලංකාව ණය තිරසාරත්වය කරා යන මාවතට වැදගත් සන්ධිස්ථානයක් බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවසීය.

ආදායම් ඒකරාශී කිරීමේ උත්සාහයන් සහ වියදම් සීමා කිරීම අවශ්‍ය වේ. නව බදු නිදහස් කිරීම් වළක්වාගැනීම මගින් රාජ්‍ය ආදායම් අහිමිවීම් සහ දූෂණ අවදානම් අවම කිරීමට සහ සමාජ ආරක්ෂණ වියදම් ඇතුළු වියදම් සඳහා අවශ්‍ය රාජ්‍ය මුල්‍ය ආරක්ෂණ ගොඩනංවා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීමට උපකාරී වනු ඇත.

ඉන්ධන සහ විදුලි මිල ගණන් පිරිවැය ප්‍රතිසාධන මට්ටමක පවත්වා ගැනීම සහ දිගු කාලයක් පුරා පවත්නා ණය නිරාකරණය කිරීම රාජ්‍ය ව්‍යවසායන්ගෙන් පැන නගින මුල්‍ය අවදානම් අවම කර ගැනීමට උපකාරී කාරී වනු ඇතැයිද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මෙහිදී අවධාරණය කළේ, දිළඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ය.

“මෙම දුෂ්කර අවස්ථාවේ දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමට රජයට වැදගත් වගකීමක් තියෙනවා. සමාජ ආරක්ෂණ වියදම් සඳහා වැඩසටහනේ අවම වියදම් ඉලක්කය සපුරාලීම සඳහා දරන උත්සාහය දෙගුණ කළ යුතු වනවා. විශේෂයෙන් අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ආවරණ වැඩි දියුණු කිරීම වැදගත් වෙනවා.” ඔහු කියා සිටියේය.

නව රජයේ ජනවරම දූෂණ අවදානම් ආමන්ත්‍රණය කරමින්, ආර්ථික විශ්වාසය යළි ගොඩනැංවීම සහ වර්ධනය වඩාත් ශක්තිමත් ලෙස පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යළි ප්‍රබෝධමත් කරනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

‘ඔවුන් එකඟ වෙලා තියෙනවා ඒ වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම කරන් යන්න’

වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා කියා සිටියේ, IMF ණය වැඩසටහන යටතේ වන මීළඟ ණය වාරිකය ලබන මසදී මෙරට ට ලැබෙනු ඇති බවය.

“අලුත් ආණ්ඩුව පත්වුණාම ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නය තමා මේ අය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක යයිද ඒ ආකාරයෙන්ම, ඒක වෙනස් වෙයිද කියලා. දැන් මේ පාර IMF ගනුදෙනුවත් එක්ක අපි දැක්ක දේ තමයි මේ රජයත් කරන්නේ පරණ රජය කරපු දේම තමයි. ඔවුන් එකඟ වෙලා තියෙනවා. ඒ වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම කරන් යන්න. ඔවුන් පාර්ලිමේන්තුවේදීත් ඒක තහවුරු කළා.” ඔහු පැවසීය.

2024 ඔක්තෝබර් මාසය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය 6.4කට අධික විය.

මේවන විට සංචාරක කර්මාන්තයෙන් මෙන් ම විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණවල වර්ධනයක් ද දක්නට ලැබෙයි.

මෙම තත්ත්වයත් සමග ආර්ථිකය යම් ආකාරයකට ස්ථාවර වෙමින් ඇතැයි මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.

press_20241123_imf_press_november_2024_e
Share This Article
Leave a comment