චීනය ලබාදෙන සහයෝගයට ජනපති අනුරගෙන් පැසසුම් !

244 Views
2 Min Read

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව චීන රජයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

මෙරට ආපදා තත්ත්වයන්වල දී ආධාර ලබාදීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇදුම් ලබාදීම පිළිබඳව ද ජනාධිපතිවරයා චීන රජයට සිය ස්තූතිය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං මහත්මිය හමුවූ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කර තිබෙනවා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමග ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කිං බොයොං මහත්මිය මෙහිදි ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

අතර මඟ නතර වී ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ චීනයට අයත් කොටස අවසන් කළ යුතු බව පෙන්වාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන සැපයුම් මධ්‍යස්ථානය සහ ආයතනික ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම විවිධ හේතූන් මත අතර මඟ නතර වී තිබෙන සමුද්‍රීය පරීක්ෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ උප සභාපතිනිය එහිදි ප්‍රකාශ කර ඇත.

ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද කිං බොයොං මහත්මිය එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share This Article
Leave a comment