Women’s Under-19 T20 World Cup : බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදවමින් ශ්‍රී ලංකාව සුපිරි හය වටයට (VIDEO)

3 Min Read

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (ICC Women’s Under-19 T20 World Cup) සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද (21) සමත් වුණා.

ඒ, තරගාවලියේ 15 වැනි හා 16 වැනි තරගවලදී පිළිවෙලින් බටහිර ඉන්දීය කොදෙව්වන් හා මැලේසියාව පරාජයට පත් කරමින්.

මේ වන විට ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් ඉන්දියාව A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, ශ්‍රී ලංකාව ද තරග දෙකම ජය ගනිමින් දෙවැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා – කොදෙව් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබා ගත්තා. එය වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ආරම්භක පිතිකාරිණියන් වූ සංජනා කාවින්දි පන්දු 36කි​න් ලකුණු 39ක් හා සුමුදු නිසංසලා පන්දු 22කි​න් ලකුණු 19ක් රැස් කළා. නායිකා මනුදි නානායක්කාර ලකුණු 41 ක් රැස් කළේ පන්දු 31 කින්. දැහැමි සෙනෙත්මා පන්දු 25කි​න් නොදැවී ලකුණු 31යි.

පන්දු යැවීමේ දී සෙලීනා රෝ​ස් ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් යොවුන් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 85 ක් පමණයි.

නායිකා සමාරා රාම්නා​ත් ලකුණු 24 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝදා ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අසේනි තලගුනේ ලකුණු 16 කට කඩුලු දෙකක් බිද හෙලූ අතර, ලිමන්සා තිලකරත්න ලකුණු 7 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් මැලේසියාව පරදා ලකුණු 139 ක දැවැන්ත ජයක් වාර්තා කළා. එම තරගයේදී ද සාර්ථක පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා පිතිකාරිණියන් කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 162 ක්.

මෙවර තරගාවලියේදී මේ දක්වා ලකුණු 150 සීමාව පසු කර ලකුණු ලබා ගැනීමට සමත්ව ඇති එකම රට වන්නේ ශ්‍රී ලංකාව (දෙවරක්) පමණයි.

මේ අතර, තරගාවලියේ 16 වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් මැලේසියාව ලකුණු 31 කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 2.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව ක්‍රීඩා කරන තරගය එළඹෙන 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Share This Article
Leave a Comment