චීන යාත්‍රාව සොයා නාවික හමුදාවෙන් මෙහෙයුමක් දියත් කරයි!

264 Views
2 Min Read

දකුණු දිග ගැඹුරු මුහුදේ ගිලී ගිය චීන ලූපෙන් යුවාන්යු 028 ධීවර යාත්‍රාවේ මළසිරුරු සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව දියත් කළ මෙහෙයුම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්වී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකා නාවික හමුදාව දියත් කළ මෙම මෙහෙයුම ඉතා අවධානම් සහගත බවය.

පුද්ගලයින් 39 දෙනෙකු රැගත් චීනයට අයත් ලූපෙන් යුවාන්යු 028 ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණින් ගැඹූරු මුහුදේ ගිලී ගියේ පසුගිය මැයි 16 වනදාය.

චීනයේ ඉල්ලීම පරිදි යාත්‍රාව සහ එහි කාර්යමණ්ඩලය සොයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ද සමඟ අදාළ කලාපය වෙත යොමු කෙරුණි. අනතුරට පත් පත් යාත්‍රාව අසලට ළඟාවූ විජයබාහු නෞකාව, උඩුකුරුව පෙරළී පාවෙමින් තිබූ ධීවර යාත්‍රාව තුළ තවදුරටත් සිරවී සිටිය හැකි බවට සැකකෙරෙන කාර්යය මණ්ඩලය මුදාගැනීමේ කටයුතු ආරම්භ කර තිබුණි.

මුහුදු ප්‍රදේශයේ පැවති රළු ස්වභාවය, මුහුදු ජලයේ අපැහැදිලිතාව සහ විසිරුණු ධීවර ආම්පන්න මධ්‍යයේ දින තුනක් පුරා ඉතා අසීරු කිමිදුම් මෙහෙයුමක් සිදුකරමින් ධීවර යාත්‍රාවේ කපිතාන්වරයාගේ මැදිරියෙන් සහ නවාතැන් මැදිරි ප්‍රදේශයෙන් මළසිරුරු දෙකක් සොයාගැනීමට නාවික හමුදාව සමත්වී තිබේ.

ඊට අමතරව යාත්‍රාව තුළ තිබී තවත් මළසිරුරු 12ක් නිරීක්ෂණය කර තිබුණි. මේ අතර සොයාගත් මළ සිරුරු එම ස්ථානයේ තිබූ චීන ටග් යාත්‍රාව වෙත භාරදී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව චීනයේ ඉල්ලීම පරිදි සිදුකළ මෙම මෙහෙයුම ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වී ඇති බවය.

Share This Article
Leave a comment