කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවාට පහර දුන් සිසුන් 06 දෙනා පොලිස් අත්අඩංගුවට !

446 Views
1 Min Read

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට එම විභාගයටම පෙනී සිටි තවත් සිසුන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුගස්තොට පොලීසිය කියා සිටියේ මෙම සිසුවාට පසුගිය 06 වනදා ගණිතය විෂයේ පළමු ප්‍රශ්ණ පත්‍රයට මුහණ දීමෙන් අනතුරුව ලැබුණු විවේක කාලයේ දී විදුහලේ ආපන ශාලාවට පැමිණි අවස්ථාවේදී තවත් සිසුන් පිරිසක් ක්‍රිකට් පිති සහ විකට් පොලු යොදා ගනිමින් අමානුෂික ලෙස පහර දී තිබූ බවයි.

පහරදීමෙන් තුවාල ලැබූ මෙම සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඔහු අද (08) මහනුවර ජාතික රෝහල ආසන්නයේ පාසලක සිට සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් විෂය සඳහා මුහුණ දී තිබුණා.

පහර දීමට සම්බන්ධ වූ සැකකාර සිසුන් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදු නොකිරීමට තීරණය කර තිබු අතර විභාගය අද (08) අවසන් වීමෙන් අනතුරුව මෙම සිසුන් 06 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ සිසුන් හෙට (09) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This Article
Leave a comment