දෙවෙනි ටෙස්ට් තරඟය අතරතුර පාකිස්තාන මැද පෙල පිතිකරුගෙන් නව ලෝක වාර්තාවක් !

200 Views
2 Min Read

පාකිස්තාන මැදපෙල පිතිකරු සවුද් ශකීල් අද (26) නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වීමත් සමගයි.

ඒ අනුව ඔහු මේ වන විට තමන් ක්‍රීඩා කළ ටෙස්ට් තරග හතේ දී ම ලකුණු 50 කට වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

ටෙස්ට් ඉතිහාසයේ දී එවැනි දක්ෂතාවයක් දැක් වූ ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි ශකීල් ඉතිහාසගත වුණේ.

ඔහු ක්‍රීඩා කළ තම මංගල ටෙස්ට් තරගයේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 76 ක් වාර්තා කිරීමට ශකීල් සමත් වුණා.

එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී පිළිවෙලින් ලකුණු 63 ක් හා 94 ක් ද, එංගලන්තයට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 53 ක් ද රැස් කරමින් සිය පළමු තරග තුනේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට ඔහු සමත් වුණා.

අනතුරුව නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළ සිය 4 වැනි ටෙස්ට් තරගයේ දී ඔහු නොදැවී ලකුණු 55 ක් ලබා ගත් අතර, සිය 5 වැනි ටෙස්ට් තරගයේ දී නවසීලන්තයට එරෙහිව ඔහු නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 125 ක්.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ශකීල්ගේ 6 වැනි ටෙස්ට් තරගයයි.

එහිදී ඔහු පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් නොදැවී ලකුණු 208 ක් ලබා ගත්තා. ඉන් අනතුරුවයි අද දිනයේ දී ද ඔහු අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 57 ක් ලබා ගැනීමට සමත් වුණේ.

Share This Article
Leave a comment