වටවල දී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි, 15කට තුවාලයි – 05කට බරපතලයි (PHOTOS)

340 Views
2 Min Read

කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු නුවරඑලිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වටවලදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක් පමණ වු ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත අද (01) අලුයම ඇතුළත් කල බව වටවල පොලිසිය පැවසිය.

අද අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදිය.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව වටවල පොලිසිය කියා සිටියේය.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 15 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

සෙසු තුවාලකරුවන් තත්ත්වය බරපතල නොවන බව වටවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය. බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුළ මගින් 100 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි බව අනතුරෙන් තුවාල ලබා වටවල රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවෙකු පැවසිය.

බස් රථය අනතුරට පත් විමත් සමග බස් රථයේ රියදුරාට බස් රථයේ ගමන් ගත් මගින් පිරිසක් විසින් පහර දිම නිසා රියදුරා වටවල ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, අනතුරෙන් ලංගම බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා කියයි.

Share This Article
Leave a comment