LPL 2023 – දුනිත්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ Galle Titans පරදවමින් Jaffna Kings කණ්ඩායමට විශිෂ්ට ජයක් !

241 Views
2 Min Read

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) කණ්ඩායම අද (4) සමත් වුණා.

මෙය ටයිටන්ස් කණ්ඩායම මෙවර තරග වාරයේ දී ලැබූ පළමු පරාජය වන අතර, Jaffna Kings කණ්ඩායම මෙවර තරගාවලියේ දී ලැබූ දෙවැනි ජයග්‍රහනයයි.

මෙම ජයත් සමග Jaffna Kings පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වීමට ද සමත් වුණා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරග‍යේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 117 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ ශෙවෝන් ඩැනියල් ලකුණු 25 ක් හා ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 19 ක් රැස් කළා. භානුක රාජපක්ෂ පළමු පන්දුවෙන්ම දැවී ගියා. ටිම් සයිෆර්ට් ලකුණු 18ක් රැස් කළ අතර, නායක දසුන් ශානක ලකුණු 30 ක් ලබා ගත්තේ පන්දු 24 කින් හයේ පහර හා හතරේ පහර 2 බැගින් එල්ල කරමින්. ශකිබ් අල් හසාන් ලකුණු 6කට දැවී ගියා.

පන්දු යැවීමේ දී සිය හොදම 20යි 20 පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 10කට කඩුලු 4 ක් දවා ගත්තා. ඔහු සිය පන්දුවාර 4 තුළ දී නිලකුණු පන්දු 17 ක් ද යොමු කිරීම කැපී පෙනුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 12.4 ක් පමණක් වැය කරමින් කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු චරිත් අසලංක ලකුණු 5 කට දැවී ගියා. ඔහුගේ ආරම්භක සගයා වූ රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 39 කින් ලකුණු 54 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් සමගින්. තව්හිද් හ්රිදෝයි පන්දු 23ක් තුල නොදැවී ලකුණු 44 ක් හා ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 7 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා. හ්රිදෝයිගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් ඇතුළත් වුණා.

දැවී ගිය කඩුලු දෙකම දවා ගත්තේ ශකිබ් අල් හසාන් විසින්. තරගයේ වීරයා බවට පත්වුයේ සිය හොඳම T20 පන්දු යැවීම වාර්තා කල දුනිත් වෙල්ලාලගේ.

Share This Article
Leave a comment