සැත්කම් නවතින ලකුණු ? – යළි රටපුරා දැඩි නිර්වින්දන ඖෂධ හිඟයක් !

370 Views
1 Min Read

සැත්කම් සිදුකිරීමට පෙර රෝගීන් නිර්වින්දනය කිරීම‌ට භාවිතා කරන නිර්වින්දන වායු ඖෂධ රටපුරා රෝහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

නිර්වින්දන වායු ඖෂධ හිඟවීම නිසා නුවරඑළිය රෝහලේ සැත්කම් දින දෙකක් තිස්සේ සීමාකර තිබෙන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කීය.

නුවරඑළිය රෝහලේ ඉකුත් දින දෙකේදී සිදුකළේ හදිසි සැත්කම් පමණක් බවද කොළඹදී ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජයන්ත බණ්ඩාර මහතා කීය.

රුපියල් බිලියන 50ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ට ලබා දීමට තිබෙන බැවින් ඖෂධ සැපයීම සීමා කිරිමට සැපයුම්කරුවන් තීරණය කිරීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල මෙලෙස උග්‍ර ඖෂධ හිඟයක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර නිර්වින්දන වායු ඖෂධ ලෙස භාවිත කරන අයිසොෆ්ලුරේන් (Isoflurane) සහ සෙවොෆ්ලුරේන් (Sevoflurane) වල බරපතල හිගයක් මේ වන විට රටපුරා රෝහල්වල ඇති බැවින් රෝගින්ගේ ජීවත දැඩි අනතුරකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටීයි.

මෙම නිර්වින්දන ඖෂධ නැවත ලංකාවට එන දින වකවානු පිලිබඳව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාට තබා සැපයුම්කරුවන්ටවත් නිවැරදිව කිව නොහැකි බව කරන ලද සොයා බැලීම් වලදි අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

Share This Article
Leave a comment