‘ඕලුගල සර්’ : මේ ඔහුගේ කතාවයි!

මීට වසර තුනකට ඉහත දී අටලුගම ග්‍රාමයේ වයස අවුරුදු 9ක දැරියක් මඩේ ගිල්වා මරා දැමූ පුවතක් වාර්තා විය. එකල එය මහත් කම්පනයට ලක් වන සිදුවීමක් වූයේ එසේ මරා දමා තිබුනේ තම පවුලේම ඥාතියෙකු විසිනි. ‘නන්ගි අඬනවනෙ.. අම්මා ඉන්න.. මන් ගිහින් එන්නම් කඩේට’ කියමින් වයස අවුරුදු 9ක ආයිශා නම් දැරිය කුකුල් මස් ගේමට කඩයට ගියේ ඉතා සැහැල්ලුවෙනි. ඒ එන අතර මග මෙවන් පාපතරයෙකු සිටිනවා ඇතැයි ඇය කිසිසේත්ම නොදනී. ‘ෆාරු​ක් මාමා මොකද ඔතන කරන්නේ?’ යැ​යි වගුරක් අසල සිටි ​මාමාගෙන් ප්‍රශ්න කෙරූ දැරියට ‘මගේ බඩු වගයක් මෙතන නැති උනා..’ කියා පිලිතුරු ලැබිනි. උදව්වට ලගට ආ දැරියට අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කොට විකල් සිහියෙන් සිටි මාමා විසින් දුෂණය කිරිමට තැත් කල නමුත් දැරියගේ ආයාසය සහ කැ ගැසීම නිසා කට වසා හුස්ම හිරවෙන තෙ​ක් අසල වගුරු බිමේ ගිල්වමින් මරා දැමීය.

එම පාපතරයාද පසුදා ගම්මුන් සමග දැරිය සොයමින් සිටි නමුත් බෙල්ලේ ඇති නිය පාරවල් රොහා​න් ඕලුගල​ගේ ඇස් වලින් වැසීමට නොහැකි විය. පැය 48ක් යාමට මත්තෙන් රටම කතා වූ ඝාතකයා අත් අඩංගුවට ගැනිණි.

මීට වසර කිහිපයකට පෙර රටම කතා වු කොටකෙතන ඝාතන රැල්ලේ සැකකරු පෝරකයට යෑමද, රත්නපුර ආසන්නයේ සිදු වූ ඝාතන කිහිපයක සුල මුල සොයා යෑම සදහාද ඕලුගල කල වැඩකොටස ඉතා විශාල ය.

එමෙන්ම මේ මොහොත වන විට රටේ ජනප්‍රියම පුද්ගලයන් අතර රොහාන් ඕලුගල සිටියි. ඒ වෙනකක් නොව කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතයත්, ඉන් නොනැවති අලුත්කඩේ අධිකරණ භූමියේ වෙඩි තබා මරා දැමු ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රදාන සැකකාරිය වන ඉශාරා සෙව්වන්දි අත් අඩංගුවට ගැනීමත් නිසාය.

අප දන්නා ඉතිහාසයේ මෙවැනි ක්‍රියාන්විතයන් ඕනෑ තරම් සිදුව ඇත. වරෙක ප්‍රබල පාතාල කල්ලි නායක සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි නම් ලබා සිටි මාකදුරේ මදූෂ් අත්අඩංගුවට ගැණුනේ එලෙසිනි. නමුත් ඔහු ලංකාවට ගෙනවිත් ටික කලක් යනවිට අත් වලට මාංචු දා සිටියදීම ආයුධ පෙන්වීමට ගොස් දෙපිරිසක් අතර ගැටුමක් යැයි කියා ජිවිතෙන් සමුගන්නට විය. එසේත් නැතිනම් මරා දමන්නට විය. එයට හේතුව අමුතුවෙන් ලිව යුතු නොවේ. කාලය සහ එවක පාලනය අතර ඇති සහසම්බන්ධය සමග කැමති ලෙස ඉරි යා කර ගත හැකිය.

මාලිමාව හැට අට ලක්ෂයක ජනවරමක් ලබා බලයට පැමිණියේය. ඒ සියල්ල අනුර නම් තනි පුද්ගලයා විසින් ගොඩනැගු විශාල ප්‍රතිරූපය මගින් උපයාගත්තකි. එකී ජනවරමට විටින් විට ආණ්ඩුවේම පාර්ශව විසින් වින කෙටුවද ජනාධිපතිවරයා හිමින් සීරුවේ තමන් බලයට පැමිණියේ ඇයිදැයි කියා තේරුම් ගෙන කටයුතු කරන සේයාවකි. පෙර කී කතා සමග පරස්පර වුවද ගැටීම් ඇති වුවද මෙ මොහොතේ කරගෙන යන හැටි අගනේය. එයට හැකි සහය දෙමි.

මේ අතර විශේෂ කොට කිවයුතු යමක් ඇත. ඒ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය තුරන් කිරිම උදෙසා ගෙනියන සටනයි. එය හුදෙක් තනි සටනක් නොවන්නට ඇත. පාර්ශව කිහිපයක සහ ආණ්ඩුවේ අවංක වුවමනාව විය හැක. කෙසේ හෝ එය සිදුවෙමින් ඇති බවට හොදම උදාහරණය ‘අයියේ දැන් මෙ පැත්තෙ අර ත්තවල් අඩුයි..” කියා මල්ලිගෙන් එන මැසේජ් එකකි. එයට වඩා සාක්ෂියක් මට තවත් නැත.

මන්ද මත්ද්‍රව්‍ය ගමට ගියේ කෙසේ දැයි හොදාකාරවම මම දනිමි. හදිසියකට පෙනඩෝල් පෙත්තක් සොයා ගැනිම අපහසු නමුත් අයිස් චුට්ටක් සොයා ගැනීම අපහසු නොවන ගමක මම සිටියෙමි. දැන් දැන් ඒ සියල්ල කෙමෙන් අඩුවෙමින් ඇත. එයට ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට මෙන්ම එකී සටන පිටුපස සිටින සියලු පාර්ශවයන්ට ස්තූතිවන්ත වෙමි. මේ සටහන ලියනුයේ ඒ වෙනුවෙනි.

දැන් නැවත ඕලුගලගේ කතාවයි. පද්මේලාගෙ අත් අඩංගුවට ගැනිම සමග දවසේ වෙඩිල්ල වියැකි ගියේය. අරාජිකත්වය සහ අස්ථාවර භාවය උදෙසා පුරුද්දට මිනී මැරූ දිනයන් දැන් කෙමෙන් හමාර ය. කුඩු අයිස් ටිකක් සොයා ගන්නට දැන් ටිකක් දුෂ්කර වි ඇත. නැවත කියනුයේ දුශ්කර මිස බැරි බව නොවේ.

කෙසේ නමුත් ඕලුගල පද්මේ බැකෝ සමන්ලාගෙන් සැහිමට පත් නොවීය. එක් අයෙක්ට මාංචු දා සැනසෙන චුටි හිතක් ඔහුට නැතිව ඇත. ඔහු අගමුල සොයා යන්නට විය. මෙවට ඔහු නැවතුනේ නේපාලයේ කත්මන්දු නුවර සිට කිලෝමීටර් හැටක් දුරින් ඇති කඳුකර ප්‍රදේශයක් වු බක්තපුර තිබ්බස් පාර්ක් මහල් නිවසකදිය. එකි නිවසට අල්ලපු නිවසේ සිටියේ අධිකරණ සංකීර්ණයට පැමිණ අපරාධකරුවෙකුට වෙඩි තබා ඝාතනය කරන්නට තරම් අපරාධ මනසක් තිබූ ඉශාරා සෙව්වන්දිය. ඒ වගේම මුදලට මිනිස් ජාවාරම් කරනා ජේකේ බායි ය. තවද රට පුරා අපරාධ මෙහෙයවමින් සිටි තවත් පුද්ගලයන් තිදෙනෙක් සහ ඉශාර වෙස්ගත් තවත් කාන්තාවකි.

ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කොට නේපාල පොලිසියේද සහය ඇතිව බස්නාහිර උතුර අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා අසල දින තුනක මෙහෙයුමකට පසු ඔවුන්ගෙ දෑත් වලට මාංචු දැමීමට කටයුතු සලස්වා ඇත. මෙ වන විට ඔවුන් දිවයිනට පැමිණ ඇත. මෙම වික්‍රමාන්විතය පිටුපස ජනාධිපතිවරයාගෙ කාර්‍යභාරයද කොතෙක් විවේචන තිබුනද පොලිස්පතිවරයාගෙ කාර්‍යභාරයද ඇගයිය යුතු ය. ඒ වගේම වර්තමාන ආන්ඩුවටද එයින් කොටසක් හිමි විය යුතුය. ඒ කිසිවක් නිසා නොව නිළධාරීන්ට තමන්ගේ වගකිම ඉශ්ඨ කිරිමට අවශ්‍ය ඉඩ හසර සහ අවකාශය සැලසීම ඔවුන් විසින් සිදුකොට ඇත.

එය විශේෂ කොට කිව යුතු දෙයක් නොවූවද මෙතෙක් ආණ්ඩුවල තිබූ භාවිතාව නිසා එය විශේෂ කොට කීමට සිදුව ඇත. ලක්ෂ 50ක් දෙන්නම් යැයි කියුවද තම වෘත්තිය ගරුත්වය සහ වගකිම පා​වා නොදුන් එකී පොලිස් නිලධාරීයාට හිස නමා ආචාර කල යුතු ය.

ඉශාරා ඕලුගල දුටුවිට “මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 07ක් තිස්සේ නේපාලෙ හිරවෙලා ඉඳලා මට ඇතිවෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියා” වැනි කතා එලියට එන්නේ නිකන් නොවේ. ඒවායෙ අරුත අමුතුවෙන් කිව යුතු ද නොවේ.

මෙහි හොදම කොටස පටන් ගනිනුයේ දැන් ය. ඉශාරාලා ද ඉශාරාලාගෙ පිටිපස සිටි අයද දැන් නීතිය හමුවට ගෙන ආ යුතුව ඇත. ඉශාරාව අල්ලන්නැද්ද කියා නාම​ල් රාජපක්ෂ​ලා ඇසුවේ ඇයිද යන්න අප දැනගත යුතුය. දේශපාලන පලිගැනිම් යැයි කෙදිරි ගානා වෘකයන්ගේ සැබෑ නිරුවත දැන ගැනීමට අපට අයිතියක් ඇත.

ඕලුගලද සුදුසු තැන ලැබී ඇත. ඔහුට ඇත්තේ තම වගකීම ඉටු කිරිම පමණි. ඕලුගල ඇතුලු පිටුපස සිටිනා සියල්ලන්ට දැන් යුද්ධයේ ඊලග පියවරට ගමන් කිරිමට සිදුව ඇත. කොටි වල්ගය අල්ලාගත් පසු අත් හැරිමක් නැත. එක්කෝ කොටියා ය. එක්කෝ ඔබ ය. ඔබ යනු රාජ්‍යය මිස ආණ්ඩුව නොවන බවද මතක තබා ගත යුතුව ඇත.

ඉශාරා සෙව්වන්දි දැන් ලංකාවෙ ය. කෙහෙල්බද්දර පද්මේකා බැකෝ සමන්ලා පානදුරේ නිලංගලා තැඹිලි ලහිරුලා ලංකාවේ ය. ඔවුන් සියල්ලන් සිටින්නෙ අත් අඩංගුවේය. සම්පත් මනම්පේරිද එසේ ය.

දැන් අපට අවශ්‍ය වන්නේ මෙකී කතාවල තිරයෙන් පිටුපස කතාවයි. එකි කතාව අපට කියා ඉතිහාසය අලුතින් ලිවීමටත් රටේ ලොකුම ඛේදවාඡකය වී ඇති මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරිමටත් හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරමි. එය රැකීම ඔබලාගෙ මිස අපගේ යුතුකම​ක් නොවේ. අප අහිංසක බලාපොරොත්තු සහිත මිනිසුන් ය. ඒ බලාපොරොත්තු මල් පල ගැන්වූ දාට කොන්දේසි විරහිතව ඔබලා වෙනුවෙන් පෙනී ඉන්නා බවද අවසාන ලෙස සටහන් කර තබමි.

  • Sasindu Sahan Tharaka
Share This Article
Leave a Comment