තුර්කි භූමිකම්පාවෙන් අහිමි වූ ජීවිත 24,000ට ළං වෙයි – නවතම තත්වය මෙන්න !

356 Views
2 Min Read

ඉකුත් සඳුදා (06) තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවලින් මිය ගිය ගණන මේ වන විට 23,700 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර තවමත් සුන්බුන් තුළ සිර වූ පිරිස් ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ඊයේ (10) දිනයේ දී සුන්බුන් අතර සිරවී සිටි දින 10 ක් වයසැති බිළිඳෙකු සහ ඔහුගේ මව බේරා ගැනීමට සමත් වී තිබෙනවා.

ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතරේ, ඒ සඳහා බලධාරීන් වඩා වේගවත්ව ප්‍රතිචාර දැක්විය යුතුව තිබූ බව තුර්කියේ ජනාධිපති තායිප් එඩුවාන් ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් පවත්නා දැඩි ශීත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව නිවාස අහිමි වීම සහ ආහාර හිඟයට මුහුණ දීම වැනි ප්‍රශ්නවලින් දැඩි ලෙස පීඩා විඳින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මේ අතර සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් භූමි කම්පාවෙන් පසු විපතට පත් ප්‍රදේශවලට සිය පළමු සංචාරය ඊයේ සිදු කළ අතර, ඔහුගේ බිරිඳ අස්මා සමඟ ඇලෙප්පෝ හි රෝහලකට ගිය බව ද සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.

ආපදාව හේතුවෙන් පීඩාවට පත්ව සිටින සිරියානු ජනතාව වෙත මානුෂීය ආධාර බෙදා හැරීම සඳහා 12 වසරක සිවිල් යුද්ධයේ යෙදී සිටින මානුෂීය හමුදා හරහා සිදු කළ යුතු බවයි බෂාර් අල් අසාද් රජය අනුමත කරන්නේ.

මේ අතර ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින වයඹදිග සිරියාවේ යුද තත්ත්වය සහන ප්‍රයත්න සංකීර්ණ කරන බවයි.

Share This Article
Leave a comment