අදත් හොඳටම වැස්ස – කාලගුණ වාර්තාව මෙන්න !

2 Min Read

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක පවුල් 11,992 කට අයත් පුද්ගලයින් 47,963 ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

එසේම, දිස්ත්‍රික්ක 07 කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

කොළඹ , ගාල්ල, හම්බන්තොට, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයෑම් අනතුරු ඇගවීම නිකුත් කර ඇති බව සදහන්.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ මාතර දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් වසා තැබීමට තීරණය කළ බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා ප්‍රකාශ කළා.

Share This Article
Leave a Comment