World Cup 2023 – ළහිරු කුමාර අබාධයකට ලක්වෙයි, තරගාවලියෙන් ඉවතට – හෙට තරගයට වෙනස්කම් දෙකක් !

254 Views
1 Min Read

හෙට (29) පූනේහි දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගයට අදාළ පෙර පුහුණු වීම්වල යෙදෙන වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව කළවා ප්‍රදේශයේ මස්පිඩුවල ආබාධයකට මුහුණ දී සිටින ළහිරුට, තරගාවලියේ ඉදිරි තරග මග හැරී යනු ඇති අතර, ඔහු වෙනුවට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඊට අදාළ අනුමැතිය ICC සාමාන්‍යාධිකාරී වසීම් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් යුතු, 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව විසින් ලබා දී තිබෙනවා.

කෙසේ නමුත් ආබාධයට ලක් වූ ළහිරු ඉකුත් දා එංගලන්තය සමග පැවති තරගයේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූ අතර ලකුණු 35කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණේ තරගයේ වීරයා සම්මානය හිමි කර ගනිමින්.

මේ අතර ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට හෙට පැවැත්වෙන තරගය සඳහා දිමුත් කරුණාරත්නව කණ්ඩායමට කැඳවීමට නියමිත බවත් වාර්තා වනවා.

කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් තරග වැදුණු තරග පහට ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ අතර ඔහුට ඔස්ට්‍රෙලියාව සමග පැවති තරගයේ හැරෙන්නට ලකුණු අතරට පැමිණෙන්න ලැබුණේ නැහැ.

ලක්නව්හි පැවති එම තරගයේ දී ලකුණු 78ක් වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා සමස්ත තරගාවලිය තුළ රැස් කර ඇත්තේ ලකුණු 94ක් වීම ද විශේෂත්වයක්.

Share This Article
Leave a comment