බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරියි !

483 Views
1 Min Read

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ජනාධිපති කාර්යාලය ඒ බව නිවේදනය කර ඇති බවයි.

විරෝධතාකරුවන් අතර සිටින ශිෂ්‍ය නායකයන් අද දිනයේ හමුදා නිලධාරීන් හමුවීමට නියමිතව තිබෙනවා.

ඔවුන් අවධාරණය කරන්නේ හමුදා නායකත්වයෙන් යුතු හමුදාව විසින් මෙහෙයවන රජයක් පිළිනොගන්නා බවයි.

මේ අතර, අලුතින් පත් කෙරෙන අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස මොහොමඩ් යුනූස් මහතා නම් කිරීම ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ ඉල්ලීමක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශ හිටපු අගමැතිනි ශෙයික් හසීනාගේ දේශපාලන සතුරෙකු ලෙස සැලකෙන 84 වියැති යුනූස් නොබෙල් සාම ත්‍යාගය ලැබූවෙකු බව සඳහන්.

මේ වන විට අසනීප තත්වයක් සඳහා පැරීසියේ ප්‍රතිකාර ලබන යුනූස් විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට එකඟතාවය පළ කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඔහුගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව ඔහු ඉක්මනින් බංග්ලාදේශයට පැමිණීමට නියමිත බවයි.

Share This Article
Leave a comment