වැස්ස තවදුරටත් වැඩිවෙයි, ඉර මුදුන් වීම පිලිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් !

356 Views
1 Min Read

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01), හෙට (02) සහ අනිද්දා (03) දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ට වැඩි තද වැසිද ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එහි දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී, අගෝස්තු මස 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බවත් අද (01) දහවල් 12:11ට ඉප්පන්තිවූ දුපත (පුත්තලම දිස්ත්‍රික්කය), අනුරාධපුර, කටුකැලියාව, සහ ඉලුක් වැව (අනුරාධපුර දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා.

Share This Article
Leave a comment