රෝහලේදී සාපෙළ විභාගය ලියන විකට් පොලු වලින් පහර කෑ සිසුවා !

315 Views
1 Min Read

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මහනුවර, කටුගස්තොට ප්‍රධාන පෙළේ බාලක පාසලක සිසුවකුට එම විදුහලේම සිසු පිරිසක් විකට් පොලුවලින් දරුණු ආකාරයෙන් පහරදීම නිසා තුවාල ලැබූ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පහරදීම හේතුවෙන් අදාළ සිසුවාට 6 වැනි දින ලබාදුන් ගණිතය දෙවැනි ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමේ අවස්ථාවද මඟහැරී තිබෙනවා.

ගණිතය පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා අදාළ සිසුවා විදුහලේ ආපනශාලාව වෙත තවත් සිසු පිරිසක් සමඟ ගොස් තිබෙනවා.

දෙවැනි ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට යමින් සිටියදී එම සිසුවාගේම පන්තියේ සිසුන් පිරිසක් “තොට විභාගේ ලියන්න දෙන්නේ නැතැයි” පවසා අදාළ පහරදීම සිදුකර තිබෙන බව වාර්තා වෙනවා.

පහර කෑමට ලක්වූ සිසුවා අධ්‍යාපන කටයුතු සඳහා දක්ෂ අයකු බව දැනගන්නට තිබෙනවා.

සිසුවාට පහර දුන් සිසු පිරිස කිසියම් අධ්‍යාපනික හේතුවක් මත ඔහු සමඟ අමනාපයෙන් සිටි බවද සඳහන් වෙනවා.

තුවාල ලද සිසුවා මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 11 ප්‍රතිකාර ලබන බව රෝහල් පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ප්‍රතිකාර ලබන බැවින් මෙම සිසුවාට පාසල වෙත ගොස් විභාගයේ ඉදිරි විෂයන් සඳහා පෙනී සිටීමට අපහසු වේ නම් ඔහුට රෝහලේ සිට විභාගයට පෙනී සිටීම සඳහා තම අවසරය ලබා දුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා.

Share This Article
Leave a comment