තවත් මාරක බස් රථ අනතුරු දෙකක් – අද දවසට තුනයි, පාසල් ළමුන් 15ක් ඇතුළු 37ක් රෝහලේ !

876 Views
2 Min Read

තවත් මාරක බස් රථ අනතුරු දෙකක් කජුගමදී සහ කුලියාපිටියේදී සිදුවී තිබෙනවා. අද (6) අලුයම බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කජුගම අනතුර සිදුවී තිබේ.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී අද අලුයම 5ට පමණ එම අනතුර සිදුවී ඇත. අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ බහාලුම් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී තිබේ.

එම අනතුරත් සමගම බස් රථය පිටුපසින් පැමිණි ඉන්ධන බවුසර් රථයක් ද බස් රථයේ ගැටී ඇත. එම අනතුරෙන් තුවාල ලැබූ 22 දෙදෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 04 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබූවන් බස් රථයෙන් මුදාගෙන කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා කජුගම ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණි.

මේ අතර කුලියාපිටිය නගරය ආසන්නයේදී පාසල් ළමුන් ප්‍රවාහන බස් රථයක, ලංගම බස් රථයක් ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම සිදුවූ අනතුරින් පාසල් ළමුන් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලිසිය පවසනවා.

තුවාලකරුවන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. අනතුර සිදුවී ඇත්තේ කුලියාපිටිය හෙට්ටිපොළ කරන්තිප්පල ප්‍රදේශයේදී.

එමෙන්ම අද උදෑසන කොළඹ කොල්ලුපිටියේදී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටිමෙන් තවත් අනතුරක් වාර්තා වූ අතර, එම අනතුරෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වුනා.

අදාළ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

Share This Article
Leave a comment