අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා ජනාධිපති ශිෂ්‍යත්වය හිමිවන්නේ මෙහෙමයි !

875 Views
2 Min Read

අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වන බව සඳහන්.

එක් එක් දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන දිනයන්, වේලාවන් සහ ස්ථානයන් මෙන්ම එම දිස්ත්‍රික්කයන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ තෝරාගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවෙහි පළ කිරීමට නියමිතයි.

අ.පො.ස. උ/පෙළ සිසුන් සඳහා මසකට ‍රු.6000/- බැගින් මාස 24ක් සඳහා එක් අධ්‍යාපන කලාපයකින් සිසුන් 60 බැගින් තෝරාගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙනවා.

මෙම සිසුන් සඳහා හිඟ වාරික මුදල්ද සමඟින් රු 30,000/-ක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමටත්, ඊළඟ මස සිට අ.පො.ස. උ/පෙළ ‍විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට ‍රු.6000/- බැගින් ශිෂ්‍යත්ව ලබා දීමටත් කටයුතු කරනු ලබන බවයි සඳහන් වන්නේ.

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට ‍රු.3000/ බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන ද මේ යටතේ ක්‍රියාත්මක වනවා.

ඒ අනුව තෝරාගන්නා ලද සිසුන් වෙනුවෙන් හිඟ වාරික මුදල් ද සමඟින්‍ රු 12,000/- මුදලක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමට කටයුතු කරන බව සඳහන්.

ඊළඟ මස සිට මසකට රු 3000/- බැගින් ශිෂ්‍යාධාර ගෙවීමට කටයුතු කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

Share This Article
Leave a comment