ජයවර්ධනපුර රෝහල​ට ඇතුලත් කළ නව හැවිරි​දි දරුවකු ‘ශල්‍යකර්මයෙන් පසු’ පියවී සිහිය නොලබාම මිය ගිහින්!

711 Views
1 Min Read

ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මියගිය බවට පොලිසියට පැමිණිලි කර ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට, හල්තොට, පෙතිගමුව පදිංචිව සිටි හොරණ අශෝක විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලැබූ ධනුජ වික්‍රමආරච්චි දරුවායි.

මියගිය දරුවාගේ මුත්‍රා මාර්ගයේ ඇතිවූ රෝගී තත්ත්වයකට ඔහුගේ මව්පියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයකු පිළියන්දල වෛද්‍ය මධ්‍යස්ථානයකදී චැනල් කර පෙන්වීමෙන් අනතුරුව වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 17 වෙනි දින ඔහු සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය කියයි.

පසුදින (18) දහවල් 01.30 ට පමණ අදාළ ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කර ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර, එම ශල්‍යකර්ම අවසන් වුවද දරුවාට පියවී සිහිය ලැබී නැත.

අනතුරුව මව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන් එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට එදින සවස 6.45 ට පමණක් ඇතුළු කර ඇති අතර සිව් දිනකට පසු (22) පෙරේදා සවස 4.30 ට පමණ දරුවා මියගොස් ඇතැයි ඥාතීන් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ඥාතීන් විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලේ උද්‍රිත පිටපත් දරුවාගේ මරණය බොරැල්ල පොලිස් වසමේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවී ඇති බැවින් බොරැල්ල පොලිසිය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Share This Article
Leave a comment